2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය.
ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය. මේ අනුව උපාධිධාරී ගුරුවරුන් 5500ක් සහ දෙවැනි භාෂා ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මගකට' මැයෙන් ඊයේ (23දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරවින්ද කුමාර් මහතා මෙසේ ද පැවසීය.
"රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ එම ක්ෂේත්රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් සමග එම කටයුතු ඉදිරියට ගෙන යාමට අමාත්‍යාංශය සැලසුම් සහගතව කටයුතු කරනවා.
නව විෂය මාලාවලින් සමන්විත එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණමය වැඩසටහන අධ්‍යාපන අමාත්‍යවරයාගේ මගපෙන්වීමෙන් දැනටමත් ක්‍රියාත්මකයි. ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මේ වන විට ලෝකයේ රටවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයක්. එම සංකල්පය අපේ රටේද ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ වගේම දරුවන් තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීමට මෙන්ම නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව කිව යුතුයි.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ සඳහා දිවයිනේ පාසල් 320ක් දැනටමත් තෝරාගෙන තිබෙනවා. එම වෘත්තීය පුහුණු වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
පාසල් ගුරුවරුන් 8000ක් දැනටමත් බඳවා ගෙන තිබෙනවා. ඉදිරියේදී තවත් උපාධිධාරීන් 5500ක් ගුරුවරුන් ලෙස පුහුණු කර බඳවා ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව දෙවැනි භාෂා ගුරුවරුන් ලෙස තවත් 2500ක් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා."